Buscar

Páginas

නිලඹර වසන්තය.....(2 කොටස)



තමා ඉදිරියේ සැහැල්ලු කහ පැහැති ටී ෂර්ට් එකක් සහ කලු පැහැයෙන් යුත් බොටම් කලිසමක් හැඳ සිටින මේ තරුණ යුවතිය දෙස දේවින්ද තත්පර දහයක් පමණ එක එල්ලේ බලා සිටියේ ය.යුවතියක් සැහැල්ලු වූ විට කෙතරම් ලස්සනද?ඇසිල්ලකින් දේවින්දගේ සිතට එම පැනය නැගුණි.තාරකා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.දේවින්ද මීට පෙර තාරකාව දැක ඇතත් ඇයගේ කටහඬ අසා නැත.
"තාම කවුරුත් නෑනෙ නංගි...ඔයා ආවෙ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් වලට නේද?"දේවින්ද එසේ ඇසුවේ අසන්නට වෙනත් යමක් නැති නිසාය.
"ඔව්...අයියටනම් මාව මතක නැතුව ඇති නේද?"
"ඔයාගෙ මූණනම් ටිකක් දැකල පුරුදුයි.හැබැයි ඉතින් එච්චරටම මතකයක් නැහැ."
"ම්...ම්....ඔයාගේ නම දැනගන්න පුළුවන්ද?"දේවින්ද තාලයකට මෙන් ඇසුවේය.කෙතරම් තම පන්තියේ මිතුරියන් සමග මිත්‍රශීලීව සිටියද තාරකා හමුවේදී දේවින්ද තරමක් අපහසුතාවයකට පත් වූවේය.ඒ මක්නිසාදැයි ඔහුට නොවැටහුණි.
"මගේ නම තාරකා.මම ඉන්නෙ 12 A3 ක්ලාස් එකේ.ඔයාලගෙ ක්ලාස් එකේ ඉන්න අනුරාධා අක්ක මගේ හොඳ යාළුවෙක්......"ඇය කෙළින්ම දේවින්දගේ මුහුණ දෙස බලා පැවසුවාය.ඇස් නටවමින් කතාකරන ඇයගේ කතා විලාශයට දේවින්ද මහත් සේ ඇලුම් කලේය.
"ඇත්තද...?අනුරාධා නම් මට ඔයා ගැන මීට කලින් වැඩි විස්තරයක් කියල නෑ."දේවින්ද මුවට සියුම් මදහසක් නංවාගෙන පැවසුවේය.
පසෙකින් නැගුණු අඩි ශබ්දය නිසා දේවින්දත්,තාරකාත් පිටුපස හැරී බැලුවහ.තවත් මිතුරියන් කිහිපදෙනෙක් වටකරගෙන අනුරාධා සිනා සලමින් දේවින්දලා සිටින තැනට පැමිණේ.
"මචංලා......අපි පරක්කු නෑ නේද?"පන්තියේ කටකාරිය වූ අනුරාධා සිනහසලමින් ඇසුවාය.
"පරක්කු නෑ.......බලපන් දැන් වෙලාව කීයද කියලා....."දේවින්ද තම අත් ඔරලෝසුව ඇයට දිගුකරමින් පැවසුවේය.
 "දැන් මෙයා මෙහෙම කිවුවට මොකද අපි පරක්කු වෙනවනම් හොඳයි කියල හිත හිත ඉන්න ඇත්තේ."තාරකා දෙසට නෙත් හෙළමින් කාංචනා පැවසුවාය.දේවින්දව තව ටිකක් තරහ ගැස්සීමට සිතූ අනුරාධා "හැබැයි ඉතින් දැන් දේවින්දට ඇස් පේනවත් අඩුයි වගේ නේ....කමක්  නෑ....ඕව ඉතින් හතලිස් ඇඳිරිය ලං වෙනකොට හැදෙන සාමාන්‍ය ලෙඩනේ....දැන් හරියටම වෙලාව උදෑසන අට පසුවී මිනිත්තු විසි පහයි.."
"මම මෙතන තව එව්න් ඉන්න නිසා උඹලට මොනවත් කියන්නේ නෑ.කිවුව කියල හිතාගනින්කෝ......."
"ආ.............ඔය එන්නෙ අනිත් එකත්.එහෙනම් අපි වැඩ පටන්ගමු නේ"අනුරාධා ඉක්මන් ගමනින් පිරිස දෙසට පැමිණෙන අරවින්ද දෙසට අත දිගු කරමින් දේවින්දට පැවසූවාය.
"හරි....හරි...දන් ඉතින් කට්ටියම ආවනේ.එහෙනම් දැන් ඉතින් කට්ටියම බාස්කට්බෝල්ස් ටික අරගෙන කෝඩ් එකට යන්න."දේවින්ද සැමටම ඇසෙන සේ කෑගැසුවේය.
ක්‍රීඩා පුහුණුවීම් ඇරඹුණි.භද්‍ර යෞවනියන්ගේ ක්‍රීඩාශීලිත්වය ඉතාමත් ඉහල තත්වයක පවතින බව ටික වේලාවක් යනවිට දේවින්දට පසක් විය.දේවින්දත්,අරවින්දත් ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලීත්වය පරික්ෂා කරමින් ඔවුන්ට නිවැරදි ක්‍රීඩා ඉරියවු පෙන්වා දුන්හ.සිසිලසින් යුත් මන්දමාරුතයක් ඔවුන්ගේ ගතෙහි වැදීගෙන ගුවනට පාවී ගියේ නිදහසට උරුමකම් කියන මේ යෞවන යෞවනියන්ට සුභ ප්‍රාර්ථනා කිරීමට මෙනි.එහෙත් නොසිතූ මොහොතක එක්වරම දේවින්දගේ ළඟ බෝලය අතේ තබාගෙන සිටි තාරකාගේ කකුලක් පටලැවී ඇයව වැටෙන්නට යන අවස්ථාවේදී දේවින්ද පැන  ඇගේ බඳ වටා අත දමා ඇයව අල්ලාගත්තද,ඇගේ එක් කකුලක් පෙරළී ගොස් තිබිණි.සියල්ලන්ම තාරකා වටා රොක්වූහ.වෙනත් කරන්නට දෙයක් නැති නිසාවෙන් ඇයව දෝතට ගත් දේවින්ද ඇයව රැගෙන ගොස් බංකුවක් මත තැබුවේය.මේ වන විටත් අධික වේදනාවට පත් තාරකාගේ ඇස් බොඳවී ගොස් කඳුළු කැට ගලායමින් තිබුණි.වහාම තමාගේ බෑගය ඇර ඒ තුළින් වේදනානාශක ස්ප්‍රේ එකක් ගත් දේවින්ද එය ඇගේ කකුලෙහි ගැල්වීය.
"තාමත් රිදෙනවද නංගි...."
දේවින්ද බෙහෙත් ගල්වා අවසානයේදී ඇගෙන් විමසීය.
"දැන්නම් ටිකක් අඩුයි වගේ....."ලැජ්ජාවට පත්වූ ඇය බිම බලාගෙනම කීවාය.
"ඔයාට ගොඩක් අමාරුද කෙල්ලේ.....ඉන්න අපි ඔයාව ගෙදරට ගිහිල්ලා ඇරලවන්නම්."අනුරාධාගේ ආදරණීය වදන් ඇගේ දෑස් තවත් බොඳකරවන්නට විය.
"එපා අනූ අක්කේ....ඔයාල සෙල්ලම් කරන්න.මම මෙහෙම ඉන්නම්.මට එච්චර අමාරුවක් නෑ."
ඇය කෙසේ කීවද ඇගේ වේදනාව අඩුවී නොමැති බව දේවින්දට වැටහුණි.
"නංගි පොඩ්ඩක් ඔහොම ඉන්න.මම ඉක්මනට කඩේට ගිහින් ඇස්ප්‍රීන් එකක් අරගෙන එන්නම්."
දේවින්ද ඉක්මනින් කඩයට දිවගියේය.
එදින හවස ක්‍රීඩා පුහුණුවීම් අවසන් වී අනුරාධාත්,දේවින්දත් තාරකාව ත්‍රී රෝද රථයක දමාගෙන ඇයව රෝහල කරා රැගෙන ගොස් කකුලට ප්‍රතිකාර කොට ඉන්පසුව ඇගේ නිවස වෙත රැගෙන ගියහ.තාරකාගේ මව තම දියණියට සිදුවූ අනතුර ගැන බියපත් වී සිටියා ය.ඇයට සිදුවූ සියල්ල පැහැදිලි කර දුන් අනුරාධා තාරකාව රැගෙන එන විට ඇයව වෛද්‍යවරයෙකුට පෙන්වූ බවත් ඇයගේ කකුලේ තත්වය ගැන බියවීමට කාරණාවක් නොමැති බව දොස්තර මහතා කී බවත් තාරකාගේ මවට පැවසීය.
සියල්ල නිම වී දේවින්ද තම නිවසට පැමිණෙන විට රාත්‍රී අටත් පසුවී තිබුණි.මේ වනවිට දේවින්දගේ නිවසින් ඔහු රෑ වෙනතෙක් ගෙදර නොපැමිණීම ගැන බියපත්ව සිටියහ.දේවින්ද නිවසට ගොඩ වදින විටම බියපත් මුහුණින් දේවින්දගේ මව සහ සොයුරිය ඉදිරියට පැමිණියහ.
"ඇයි අම්මා....?"
"කොහෙද දරුවෝ මේ රෑ වෙනකම් යන්නේ.තාත්ත දැනගත්තොත් මටත් විසුමක් වෙන්නෑ.ඔයා දන්නවනේ තාත්තගෙ හැටි.අඩුමගානෙ පරක්කු වෙනවනම් කෝල් එකක් දෙන්න තිබුනනේ.අක්කයි මමයි කොච්චර පපුවෙ ගින්දරෙන්ද හිටියේ.ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.........."
"මගෙ ෆෝන් එකේ බැට්‍රි ලෝ වෙලා අම්මා....ඒකයි කෝල් එකක් දෙන්න බැරි වුනේ....."
දේවින්ද එදින සිදුවූ සියල්ල මවට පැහැදිලි කලේය.
"ඔය මෙයාගෙ බොරු අම්මා.....කෙල්ලෙක්ව අල්ලගෙන කොහෙහරි රස්තියාදු ගහල ගහල එන්නැති...."
දේවින්ද මුලු විස්තරයම අසා සිටි දේවින්දගේ අක්කා සිනාසලමින් පැවසීය.
"තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නවා......."
දේවින්ද ගේ තුලට ගියේ අක්කාගේ උරහිසට පහරක් ගසමිනි.
"ආව්.......බලන්න අම්මා......."ඇය කෑගැසීය.
"හොඳ වැඩේ කට තියාගෙන ඉන්න බැරුවට...."
"අම්මටත් ඉතින් අම්මගෙ සූකිරි පොඩි පුතාව තමයි ලොකු...."දේවින්දගේ සොහොයුරිය ගස්සාගෙන කාමරයට වැදුනාය.

දේවින්දගේ සිතට එදින පුදුමාකාර වෙනසක් දැනේ.එය සැහැල්ලු හැඟීමක්ද,නැතහොත් හිතට බරක් ලෙස දැනෙන හැඟීමක්දැයි ඔහුට නොතේරුණි.අද ගෙදර පැමිණි වෙලාවේ සිටම හිත මාන බලන්නේ තනිවෙන්නටමය.නැතිනම් හුදෙකලාවක අතරමංවන්නටය.එයට හේතුව කුමක්දැයි ඔහුට නොතේරුන නමුත් එය තේරුම් ගැනීමටද දේවින්ද උත්සාහ නොකළේය.ඒ සොඳුරු හුදෙකලාවේ අතරමංවීමට ඔහුගේ සිත ප්‍රිය කලේය.

9 comments:

Raj

ම්...බලමු මොකැ වෙන්නේ කියල

කෝඩුකාරයා

බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා......

සෙන්නා

මේතාක් දුරට කතාව ලස්සනට ගලාගන යනවා.. බලමු ඉදිරිය..

කෝඩුකාරයා

Senna : එහෙනම් ඉතින් තව කොටස් දෙකක් විතර බලලම ගුණදොස් කියන්නකෝ.......

ගැමියාගේ පත් ඉරුව

කතාව ලස්සනට ගලාගෙන යනවා මලේ කෝඩුකාර ඇරඹුමක් කිව්වට කිසිම ආධුනික ගතියක් නෑනේ.එකකට එකක් සිදුවීම් මවමින් ලියලා තියෙන විදිය නියමයි.අර යුගයේ කතාකරුගේ වගේ බොළඳ දෙබස් නැති නිසා සෑහෙන්න තාත්විකයි.දිගටම ලියමු මලේ ජය වේවා....

මම කැමතියි අපි හිතන විදියට වඩා වෙනස් පැත්තකට කතාව කරකවලා අපිව කුතුහලයට පත් කරවනවට එතකොට තමා අපිට ඒ කතාව සෑහෙන්න මතක තියෙන්නේ.මන්දා මට නම් එහෙමයි....බලමු ඉදිරියට මොනා වෙයිද කියලා

The තරුවා

බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව : සමහරවිට ඉස්සරහට බොලඳ කතා ලියවෙන්නත් ඉඩ නැත්තෙම නෑ.ඔන්න ඔහොම විය යුතු දේවල් පිළිබඳව මාව දැනුවත් කරන එකටනම් මම ගොඩාක් කැමතියි අයියේ.......බොහෝ දුරට කතාව ඔයාල නොහිතන පැත්තකට හැරවෙන්න ඉඩ තියනවා.මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමුකෝ........

කෝඩුකාරයා

තරූගේ ලෝකය : එහෙනම් ඉතින් කතාවේ ඉදිරි කොටස් දෙක තුනකුත් කියවලම ගුනදොස් කියන්නකෝ.......

හිතුවක්කාර කෙල්ල

ම්ම්ම්ම්ම්ම්ම්..මග ඇරුනු කොටස් කියවගෙන එනගමන්...

ලස්සනට යනවා කතාව...