Buscar

Loading...

Páginas

නිලඹර වසන්තය.....(4 කොටස)


නිලඹර වසන්තය.....(1 කොටස)
නිලඹර වසන්තය.....(2 කොටස)

නිලඹර වසන්තය.....(3 කොටස) මෙතනින් කියවන්න

*********************************************************************************



මිතුරු මිතුරියන්ගේ කවට වදන් හමුවේ දවස ගතවී යනු තාරකාට කිසිසේත්ම නොදැනිණි.තාරකාගේ නිවසින් නික්මෙන්නට සූදානම් වූ අවස්ථාවේදී දේවින්දගේ මුහුණේ තිබූ ශෝකය මුසු වූ අවිහිංසක බැල්ම ඔවුන් ගිය පසුත් තාරකාගේ සිතේ සිතුවම් වී තිබිණි.
             දේවින්දව දකින වාරයක් වාරයක් පාසා තාරකාගේ සිතට මහත් ව්‍යාකූලභාවයක් නොදැනුනා නොවේ.
ජීවිතයේ මෙතෙක් නොසිතන යමක් දැන් දැන් සිතන්නට පැමිණ ඇතැයි ඇයට දැනේ.තම හදවත් මලුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පවත්වනු ලබන පිච්ච මල් පූජාව වැනි උතුම් වූ මංගල කටයුත්තකට පේ වන බව ඇයට හැඟේ.වෙනදා ඇඳේ පෙරළෙමින් කල්පනා කරන්නට දෙයක් සෙවුවද මෑතක වනතුරුම ඇයට එවැන්නක් හමුවී නැත.නමුත් දැන් එසේ නොවේ.අද හිත තමාගේ නොවේ වගේය.කෙනෙකු පැමිණ තම හිත ඔහුගේ යටතට යටත් කරගත්තාක් මෙනි.තාරකා කෙදිනකවත් හදවතේ හැඟීම වලට එරෙහි වී නැත.ඔලුවෙන් නොව හදවතින් තීරණ ගන්නට ඇය කවදත් ආශා කලාය.මලක පෙති පිපෙන්නේ කලාවකට ලතාවකටය.තමනුත් පැමිණියේ ජීවිතයේ මල් වාර කිහිපයක් පසුකරමින් වුවද පිපෙන්නට ඉඩ තිබියදීත් නොපිපුණේ මන්දැයි තාරකාට සිතුණි.දෛවයද එසේ විය යුතුය.වසන්ත සමයන් සියගණනක් පසුකලද නොපිපුණ කුසුමක් එක් ආදරබර සමනල බැල්මකදී මල සතු වූ සියක් පෙතිම විකසිත වී සමනල හදවතටම නතුවන අවස්ථාද නැතුවා නොවේ.නින්ද අහලකවත් නොවූ හෙයින් කාමරයේ තුබූ සීඩී ප්ලේයරය ක්‍රියාත්මක කල තාරකා ඇඳට වැටුණි.
කවුලු පියන්පත් වහන්න සඳළු තලාවේ....ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ.....
කසුන් කල්හාර ගැයූ සුමියුරු ගීය ඇයගේ හද පත්ලෙහි ගැඹුරුම තැනක් ස්පර්ශ කලා යැයි ඇයට හැඟුණි.ගීතයේ මිහිර විඳිමින් සිටි ඇය ටික වේලාවකින් නිදි කුමරියගේ පහසට නතු වූවාය.
සතියක් පමණ ඉකුත් වූ පසු තාරකාට ඇවිදින්නට හැකි දුරකට ඇගේ පාදය සනීපවී තිබුණි.මේ සතිය ඇතුලත දේවින්ද,අනුරාධා ඇතුලු තාරකාගේ මිතුරු කැල ඇයව බලන්නට දින හතරක් පමණ පැමිණියහ.
                අම්මෝ....මෙන්න ලෙඩ සනීප වෙලාද කොහෙද පාර දිගේ උඩ පැන පැන එනවා....සිනහ මලක් මුවග රඳවාගෙන මිතුරන් අතරට පැමිණෙන තාරකා දෙසට අත දිගුකර අනුරාධා පැවසුවාය.
"මොනවද මම එනව දැකලා කෙඳිරුවේ...?"මිතුරන් අතරට පැමිණි තාරකා අනුරාධාගෙන් ඇසුවාය.
"නෑ..මම මේ කිවුවෙ ආයිත්නම් ඔයාලගෙ ගෙදර යමු කියලා අපිට කවුරුත් කරදර කරන එකක් නෑ කියල.පහුගිය දවස් ටිකේ සමහර අයගෙන් පුදුම කරදරයක්නෙ තිබුනේ......"
"කවුද අපේ ගෙදර යමු කියලා ඔයාලට කරදර කලේ....?"
"අම්මේ මේ යකානම් මැරෙන්නෙ නෑ.....ඔන්න ඔය එන මනුස්සය තමයි අපිට මෙච්චර දවසක් වද දුන්නේ......"
එක්වරම තාරකාගේ මුහුණ ලැජ්ජාවත් සමග මුසුවූ කෝල බවකින් බිමට බරවිය.තම මිතුරන් පිරිවරාගෙන තමන් ඉදිරියට එන දේවින්දව ඇගේ දෑසට හසුවන්නට තත්පරයක්වත් ගතවූයේ නැත.
"ආ....ලමයගෙ ලෙඩ සනීපයි වගේ නේද?"
තාරකා අසලට පැමිණි දේවින්ද සිනාමුසු මුහුණින් යුතුව ඇසුවේය.
"තාරකාගෙ ලෙඩ සනීප වුනාට මොකද තවත් සමහර කට්ටියටනම් අමුතු ලෙඩක් හැදීගෙන එනව වගේ......."
අරවින්ද අනුරාධාට ඇඟිල්ලකින් ඇන පැවසුවේය.
"ඒ කතාවටනම් මමත් සම්පූර්ණ එකඟයි."
"උඹල හිතාගෙන ඇත්තේ කට්ටියම එකතු වෙලා එකෙක් දෙන්නෙක්ව බයිටට ගන්න එක මහ ලොකු වීර ක්‍රියාවක් කියල නේ....."දේවින්ද අරවින්ද වෙත කෝපය මුසු බැල්මක් හෙලමින් පැවසුවේය.
"ආ......මෙයා මොකද මේ අහසෙ පාවෙන තොප්පි ඔළුවට දාගන්නෙ...?"අනුරාධා පැවසුවාය.

මිහිර අමිහිර ගැබ් වූ වදන් අතරින් කෙලිලොල් තරුණ තරුණියන්ගේ දින එකිනෙක ගත විය.අසීමිත,අපරිමාණ ආදරයක් තමන්ගේ සිත් තුල පැවතියද දේවින්දත් තාරකාත් තම සිත තුල පවතින්නේ ආදරයක් යැයි තේරුම් ගැනීමට අපොහොසත් විය.


..................................................................................................................................................................


අද දින වෙනදාටත් වඩා ඉක්මනින් හිරු අහසට විත් යැයි දේවින්දට හැඟුණි.මේ වනවිට තාරකාත් දේවින්දත් එකිනෙකාට මුණගැසී මසකටත් වැඩි කාලයක් ගතවී තිබුණි.මේ කාලය තුල තමාත් තාරකාත් කෙතරම් සමීප වුණිදැයි දේවින්ද සිතුවේය.
ක්‍රීඩා උළෙලෙහි අවාසාන මොහොතේදී ප්‍රථම ස්ථානය ලබාගත් නිවාසය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී තාරකාත් දේවින්දත් ගැහෙන හදින් යුතුව එක ළඟට වී බලා සිටියහ.තාරකාගේ අත ඇය නොදැනුවත්වම දේවින්දගේ අතැඟිලි අතර පැටලිණි.
"මෙම වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ජය හිමිකරගන්නා නිවාසය වනුයේ................................"
මුලු ක්‍රීඩා පිටියේම හුන් ළමුන් සියලු දෙනා මීයට පිම්බාක් මෙන් නිහඬ විය.
තාරකාගේ දෑඟිලි දේවින්දගේ අතට වඩාත් තදවිය.ඇයගේ හුස්ම වැටෙන ශබ්දය දේවින්දගේ දෙසවන් තුල රැව් දෙමින් ඇසිණි.
"මෙවර ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය ලබාගන්නා නිවාසය වනුයේ....විජය නිවාසයයි..........!!"
එක්වරම මුළු ක්‍රීඩා පිටියම මහත් අත්පොලසන්නද නගමින් ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.දේවින්ද නොදැනුවත්වම ඔහුගේ නෙතඟින් ගිලිහෙන්නට බලා සිටි කඳුලු කැට දෙකක් ඔහුගේ කම්මුල තෙමමින් ඇදවැටුණි.ඔහු තාරකා දෙස බැලීය.මුහුණ පුරා දෝරෙගලනා නිමක් නැතු සතුටක් අතරින් තාරකාගේ සිනහමුසු මුහුණ ඔහුහට දක්නට ලැබිණි.දේවින්දත් තාරකාත් එකිනෙක වැළඳගත්තේ අපරිමිත වූ ප්‍රීතියක් දෙදෙනා අතර හුවමාරු කරගන්නට මෙනි.තවත් ඇසිල්ලකින් තමාගේ නිවාසය ජයග්‍රහණය කරා ගෙනයන්නට අපමණ වෙහෙසක් දැරූ දේවින්දව,විජය නිවාසයේ සියලු ළමුන් එක් රොක් වී කරමතින් තබාගෙන ප්‍රීතිඝෝශා පවත්වන්නට විය.
"මෙයා මොකද මේ කණ්නාඩිය දිහා බලාගෙන තනියම හිනාවෙන්නේ.....අනිමිසලෝචන පූජාවක්වත් පවත්වනවද?"
තම සොහොයුරියගේ හඬින් දේවින්ද ගැස්සී ගියේය.
අම්මෝ....මගේ හිත ගිහිල්ල තියන දුර...දේවින්දට සිතුණි.
"මම අනිමිසලෝචන පූජාවෙ නෙමෙයි...රුවන් සක්මනේ යෙදුනත් තමුසෙට තියන අමාරුව මොකක්ද....යනව යනවා.....ගිහිල්ල තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නව."දේවින්ද සොයුරියට පැවසුවේය.
"මට ඇති අමාරුවක් නෑ හලෝ...අන්න අම්ම කෑම කන්න කතා කරා..මම ඒක කියල යන්නයි ආවෙ."ඇය ගස්සාගෙන කාමරයෙන් එලියට ගියාය.
දේවින්ද පාසලට යෑම සඳහා හැඳ පැළඳ තම කාමරයෙන් නික්ම යන්නට සූදානම්වනවාත් සමගම දේවින්දගේ ජංගම දුරකතනය නාද විය.එය අතට ගත් දේවින්ද දුරකතන ඇමතුම කාගෙන්දැයි බැලුවේය.ඇමතුම අනුරාධාගෙනි.කෙදිනකවත් අනුරාධා දේවින්දට මෙතරම් උදෑසනින් කතාකර නැත්.මහත් කුතුහලයෙන් යුතුව දේවින්ද අනුරාධාව ඇමතීය.
"දේවින්ද..මට ඔයාට කියන්න ලොකු දෙයක් තියනවා."
"එහෙනම් ඉතින් ඉක්මනට ලොකු දේ පොඩියට පැහැදිලිව කියන්නකෝ...."
"විහිළු නෙමෙයි බං...මම අද ඉස්කෝලෙ එන්නෙ නෑ.උඹට පුළුවන්නම් අද ඉස්කෝලෙ ඇරෙන ටයිම් එකට බේක් හවුස් එක ගාවට වරෙන්.මම මේ කියන්න යන දේ උඹට ගොඩාක් වැදගත් වෙයි.ඒක නිසා විහිළුවකට ගන්නෙ නැතුව අද හවසට මාව හම්බවෙන්න වරෙන්.මම තියනවා."
දුරකතන ඇමතුම විසන්ධි විය.
අනුරාධා කෙදිනකවත් මෙතරම් බැරෑරුම් ලෙස කතා කරන්නේ නැත.මොකක් හෝ බරපතල කරුණක් විය යුතුය.අද පාසල ඇරී අනුරාධා හමුවීමට දේවින්ද සිතුවේය.

නිලඹර වසන්තය.....(3 කොටස)


නිලඹර වසන්තය.....(1 කොටස)
නිලඹර වසන්තය.....(2 කොටස) මෙතනින් කියවන්න

*********************************************************************************


සිහින වාලුකාවක අතරමං වී තිබූ තමන්ගේ හිත මොකක්දෝ රටාවකට හැඩගැසීමට සූදානම් වනබව තාරකා ඉවෙන් මෙන් වටහා ගත්තාය.තම දිවියේ සහරාව මෙන් සතර අතටම පැතිරුණු හුදෙකලා බව රසවිඳීමට හැකි යැයි තාරකාට දැන් දැන් සිතේ.
                අද දිනයේදී සිදුවූ සියල්ලක්ම පාහේ තාරකාට ඉතා පුදුමසහගත සිදුවීම්ය.කවර දිනකවත් තම පියා හැරුනු කොට වෙනත් පිරිමියෙකු සමග සමීපව නැතිනම් ලෙන්ගතුව කතා කර නොතිබූ තාරකාගේ හිත අද උදෑසන දේවින්ද සමග කතා කිරීමට බල කලේ ඇයි?තමන්ගේ කකුල අනතුරකට ලක් වූ වෙලේ දේවින්ද තමාව දෝතට ගත් විට තමන්ගේ මුළු ගතම හිරිවැටී ගියා නොවේදැයි තාරකාට සිහිවිය.එම වේලාවේ සිට තමන්ව නිවසට රැගෙන එන තෙක්ම ඔහු තාරකා ළඟින් රැඳී සිටියේය.මේ සියල්ල එක පෙළටම තාරකාට සිහි විය.වෙනදා නිවසට ආ විගසම තම ආදරණීය නැගෙණිය සමඟ කතාවට වැටෙන ඇය අද මෙතරම් හුදෙකලා වූවේ ඇයි.තමාගේ සිත මෙතරම් දේවින්ද ගැන සිතන්නේ ඇයි.ඇයට තම සිත සමග විටෙක තරහක්ද ඇතිවේ.තවත් විටෙක තමාගේ සිත මෙතරම් බොළඳ වූයේ කෙලෙසදැයි ඇයට සිතේ.
"එයා මට මෙච්චර උදවු කලේ මනුස්සකමට වෙන්න ඇති.එහෙම එකේ ඇයි මගෙ හිත මට එයා ගැන මෙච්චර හිතන්න බල කරන්නෙ......?"ඇය එම ප්‍රශ්නය ඇසුවේ තම හදවතිනි.ඇයට එම ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමට අපහසු වූවාය.
"ලොකු දූ....ඔයාට කෑම එක බෙදලා ගෙනත් දෙන්නද?නැත්නම් මම කවන්නද?"මවගේ හඬින් තාරකා ගැස්සී ගියාය.
"එපා අම්මා.....ඉන්න මම ඔතනට එන්නම්."යැයි කියමින් ඇය ඇඳෙන් නැගී සිටින්නට හැදුවද නැවතත් ඇගේ කකුල රිදුම් දෙන්නට පටන් ගත්හ.
"හා හා...දරුවෝ.....ඔයා නැගිටින්න හදන්න එපා....ටිකක් ඔය කකුල සනීප වෙනකම් ඇඳට වෙලා ඉන්න කියල දොස්තරත් කිවුව නේද?පොඩ්ඩක් ඔහොම ඉන්න.මම බත් බෙදාගෙන ඇවිත් ඔයාට කවන්නම්."කාමරයට පැමිණි මව පැවසීය.
"අනේ මට එච්චර අමාරුවක් නෑ අම්මා.පොඩ්ඩක් කකුල රිදෙන එක විතරයි.අනූ අක්කා අම්මට දොස්තර කියපු නැති දේවලුත් කියල ගිහිල්ල වගේ....."
"නෑ......අනුරාධා දුව ඔයත් එක්ක එලියට ආපු වෙලාවේ අර පිරිමි දරුවට කතාකරල දොස්තර කියල තියෙන්නේ ඔයාට ටික දවසක් යනකම් ඇවිදින්න දෙන්න එපා කියල.ඔයා බයවෙයි කියල තමයි ඒ දරුව ඔයාට ඔය විත්තියක් කියල නැත්තේ...ඒ වුනාට මට ඇවිල්ල කිවුව ඔයාට වැඩිය ඇවිදින්න දෙන්න එපාය කියල දොස්තර කිවුවලු."
මවගේ කතාවෙන් තාරකා දේවින්ද ගැන තව දුරටත් වටහාගත්තාය.
ඈත අහසේ දිදුලන චන්ද්‍රයා ඈ දෙසට නෙත් හෙලාගෙන සිටින අයුරු විවෘතව ඇති ජනේලයෙන් ඇයට පෙනේ.

තාරකාට අමරසිරි පීරිස්ගේ ගී පදවැලක් සිහියට නැගුනි.විටෙක දේවින්දද මේ පුරහඳේ අසිරිය විඳිමින් සිටිනවා විය හැක.එදින තාරකා නින්දට ගියේ හැකිතාක් ඉක්මනින් පාසල වෙත යෑමේ බලාපොරොත්තුවක් සිත තුල රඳවාගනිමිනි.


හිමිදිරි ගුවන් ගැබට සූර්ය්‍ය කුමරුගේ බැල්ම වැටීමටත් කලියෙන් දේවින්ද දවස ආරම්භකර හමාරය.සෑම දිනකම හිරුට කලින් දවස ආරම්භ කිරීමට දේවින්ද ප්‍රිය කලේය.එවිට ගතට මෙන්ම සිතටද මහත් සැනසීමක් නිස්කලංකභාවයක් දැනේ.
"අරවින්දට මතකද......අර තාරකා නංගි වැටුන වෙලාවෙ මෙයා පුදුම විදිහට බය වෙලානෙ හිටියේ......."
"ඒක නේන්නම් බන් මාත් බලාගෙන හිටියෙ...මූ මෙච්චර එකට ඉන්න අපිට කරදරයක් වුනාමවත් ඔහොම සලකන්නෙ නෑනෙ....."
පෙර දින රාත්‍රියේදී තම මිතුරන් විසින් දේවින්දට කරන ලද කවට වදන් ඔහුට සිහිවිය.
උදෑසනින්ම වතුර මල යටට වී වතුර මලින් එන කුඩා ජල බිඳුවලට තම ශරීරය හොඳ හැටි සිපගැනීමට ඉඩදුන් දේවින්ද ඔවුන් අද දින යොදාගත් ගමන යෑම සඳහා සුදුසු සැහැල්ලු ඇඳුමක් ඇදගත්තේය.තම මිතුරු මිතුරියන් තවමත් පැමිණ නැතිබව ඔහුට විශ්වාසය.එම නිසා වැඩි කලබලයකින් තොරව ලෑස්ති වූ දේවින්ද ගෙදරින් එලියට බැස්සේය.

අද දින වන විට තම පාදය සනීප වී ඇවිදීමට හැකිවේයැයි සිතුවද එසේ ඇවිදීමට හැකි තත්වයක් තාරකාට තිබුනේ නැත.ඇඳෙන් බිමට අඩිය තබන සෑම මොහොතක් පාසාම ඇගේ කකුල වේදනා දෙන්නට විය.මැදියම් රාත්‍රිය වනතෙක් හරි හැටි නින්දක් නොලැබූ තාරකා උදෑසන 7 වනවිටත් තද නින්දක පසුවිය.පාන්දර 6ට පමණ තම දියණියගේ කාමරයට පැමිණි තාරකාගේ මව වෙන දිනවල අලුයම හතරට පමණ අවදිවන දියණිය අද තවමත් සුවසේ නිදි කුමරියගේ පහස විඳිමින් සිටින දෙස මොහොතක් බලා සිටියාය.
"පව් දූලගෙ තාත්තෙ.......කෙල්ල ඊයෙ රෑ වෙනකම් නිදාගන්නෙ නැතුව ඇති.කොච්චර නෑ කියල කිවුවත් කකුලෙ අමාරුව නිදාගන්න ඇඳට ගිය වෙලාවෙත් තිබ්බ කියල මට තේරුණා."දියණියගේ කාමරයට ඔළුව දැමූ ගුණසේන මහතා දෙස බලා තාරකාගේ මව පැවසුවාය.
නමුත් තාරකාගේ නින්ද සොරාගෙන තිබුනේ ඇයගේ කකුලෙහි ආබාධය නොව ඇගේ සිතට ඇතුළු වී තිබූ ආගන්තුක වූ සෙනෙහෙබර හැඟීම් පොකුරක් බව කිසිවෙකු නොදත්තේය.

නිවසේ සීනුව නාදවන විට තාරකා සිටියේ තම ඇඳ මත වාඩිවී පොතක් කියවනගමන්ය.
"අම්මා............කවුද ඇවිල්ල වගේ.පොඩ්ඩක් බලන්න....."සීනුවේ හඬ ඇසුණු තාරකා තම මවට හඬගෑවාය.ටික වේලාවකට පසු මව නිවසේ දොර විවර කරන ශබ්දයත්,ඉන් පසුව තවත් කටහඬවල් කිහිපයකුත් තාරකාගේ දෙසවනට ඇසිණි.තවත් තත්පර කිහිපයකට පසුව සුපුරුදු මුහුණක් තාරකාගේ කාමරයට එබිණි.
           ටික වේලාවකට පසු මව නිවසේ දොර විවර කරන ශබ්දයත්,ඉන් පසුව තවත් කටහඬවල් කිහිපයකුත් තාරකාගේ දෙසවනට ඇසිණි.තවත් තත්පර කිහිපයකට පසුව සුපුරුදු මුහුණක් තාරකාගේ කාමරයට එබිණි.
            "අනූ අක්කේ.....ඔයාල..!" තාරකාට අදහාගන්නටත් බැරිය.පළමුවෙන්ම අනුරාධාගේ මුහුණත් දෙවනුව තවත් මිතුරන් කිහිපදෙනෙක් සහ පිටුපසින්ම දේවින්දගේ මුහුණත් ඇයගේ දෑසට හසුවිය.
"මේ මොකද කෙල්ල නිකන් බය වෙලා වගේ.......?"තාරකාගේ ඇඳ කොනකින් අසුන්ගත් අනුරාධා ඇසුවාය.
"නෑ...බය වෙලා නෙමෙයි.මට එකපාරටම හිතාගන්නවත් බැරි වුනා.පුරුදු කටහඬවල් ටිකක් ඇහුනට මම හිතුවෙ නෑ ඔයාල වෙන්න ඇති කියල.අනික මෙච්චර උදෙන්ම..?"තාරකා විශ්මය ගැබ් වූ හඬකින් පැවසුවාය.
"අපිටනම් ඉතින් මෙච්චර උදෙන් එන්න ඕන කමක් තිබුනෙ නෑ...ඒත් ඉතින් මේ එක්කෙනෙක්ට නම් ඔයාව බලන්න එන්න පුදුම ඕනකමක් තිබුනනේ.ඒ නිසා ඉතින් අපිත් ඉතින් ඕන මඟුලක් කියල උදේ පාන්දරින්ම ආව."අනුරාධා පැවසූයේ දේවින්දට ඇහැකින් ඉඟි කරමිනි.තාරකාගේ දෑස ක්ෂණයකින්ම දේවින්ද වෙත යොමුවිය.කහ පැහැති ටී ෂර්ටයකින් හා ලා නිලට හුරු ඩෙනිමකින් සැරසී සිටි දේවින්ද ඔහු කුමන ඇඳුමට වුවද ලස්සනයැයි ඇයට සිතුණි.තමා දෙස බලා සිටින තාරකා දෙසට නෙත් හෙලූ දේවින්ද "දැන් සනීපද නංගී..."යැයි ඇසුවේ මුවගට අහිංසක සිනහවක් නංවා ගනිමිනි.
"අනේ ඔව් අයියේ....දැන් හොඳටම සනීපයි.ඒකනෙ මේ ඇඳෙන් බැහැගන්න බැරුව ඇඳට වෙලා ඉන්නේ...."දේවින්දගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනේ තාරකාගෙන් නොව අරවින්දගෙනි.අරවින්ද ඇද පැද පැවසූ කතාවට සියල්ලන් සිනහ ගැන්වීමට සමත්විය.
"මම තොගෙන් මුකුත් ඇහුවේ නෑ....කට වහගෙන හිටු."දේවින්ද ඔහුට බැණවැදුනේ තරහකින් නොවේ.
"මොනවහරි බීල ඉමු ලමයිනේ..."තේ බන්දේසියක් අතින් රැගෙන තාරකාගේ කාමරයට පැමිණි ගුණසේන මහත්මිය පැවසුවාය.
"අයියෝ....ඇන්ටි මොකටද කරදර වුනේ..කෝ දෙන්න,මම ඕක අල්ලන්නම්."ඇගේ අතින් තේ බන්දේසිය ගන්නා ගමන් කාංචනා ඵැවසුවාය.
"ඔව් ඔව් ඇන්ටි...අපේ කාංචනාට හොඳට හවුස් කීපින් වැඩ පුළුවන්.මෙයා ඒ ලෙවල් වලින් පස්සෙ දෝහා කටාර් යන්න ඉන්නෙ.එහේ ගෘහ සේවිකා ඇබෑර්තු ගොඩාක් තියනව කියන්නේ...."කාංචනාට අනුරාධාගේ කට තලා දමන්නට සිතුණි.
"ඕව ඇන්ටි ඉරිසියාවට කියන කතා...අනූගෙ අම්ම හැම තිස්සෙම වගේ අපිත් එක්ක කියන්නෙ මේකිව කසාද බන්දල දෙන්න වෙන්නෙ හොඳට ගෙදර වැඩ කරන්න පුළුවන් මිනිහෙක්ට කියලනේ....ඉතින් අනූගෙ අම්මම එහෙම කියනකොට මෙයාගෙ ගෙදර වැඩ කිරීමේ හැකියාව ගැන ඇන්ටිට අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැහැනේ."
පිරිසට තේ බන්දේසිය අල්ලන ගමන්ම කාංචනා පැවසුවාය.

නිලඹර වසන්තය.....(2 කොටස)



තමා ඉදිරියේ සැහැල්ලු කහ පැහැති ටී ෂර්ට් එකක් සහ කලු පැහැයෙන් යුත් බොටම් කලිසමක් හැඳ සිටින මේ තරුණ යුවතිය දෙස දේවින්ද තත්පර දහයක් පමණ එක එල්ලේ බලා සිටියේ ය.යුවතියක් සැහැල්ලු වූ විට කෙතරම් ලස්සනද?ඇසිල්ලකින් දේවින්දගේ සිතට එම පැනය නැගුණි.තාරකා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.දේවින්ද මීට පෙර තාරකාව දැක ඇතත් ඇයගේ කටහඬ අසා නැත.
"තාම කවුරුත් නෑනෙ නංගි...ඔයා ආවෙ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් වලට නේද?"දේවින්ද එසේ ඇසුවේ අසන්නට වෙනත් යමක් නැති නිසාය.
"ඔව්...අයියටනම් මාව මතක නැතුව ඇති නේද?"
"ඔයාගෙ මූණනම් ටිකක් දැකල පුරුදුයි.හැබැයි ඉතින් එච්චරටම මතකයක් නැහැ."
"ම්...ම්....ඔයාගේ නම දැනගන්න පුළුවන්ද?"දේවින්ද තාලයකට මෙන් ඇසුවේය.කෙතරම් තම පන්තියේ මිතුරියන් සමග මිත්‍රශීලීව සිටියද තාරකා හමුවේදී දේවින්ද තරමක් අපහසුතාවයකට පත් වූවේය.ඒ මක්නිසාදැයි ඔහුට නොවැටහුණි.
"මගේ නම තාරකා.මම ඉන්නෙ 12 A3 ක්ලාස් එකේ.ඔයාලගෙ ක්ලාස් එකේ ඉන්න අනුරාධා අක්ක මගේ හොඳ යාළුවෙක්......"ඇය කෙළින්ම දේවින්දගේ මුහුණ දෙස බලා පැවසුවාය.ඇස් නටවමින් කතාකරන ඇයගේ කතා විලාශයට දේවින්ද මහත් සේ ඇලුම් කලේය.
"ඇත්තද...?අනුරාධා නම් මට ඔයා ගැන මීට කලින් වැඩි විස්තරයක් කියල නෑ."දේවින්ද මුවට සියුම් මදහසක් නංවාගෙන පැවසුවේය.
පසෙකින් නැගුණු අඩි ශබ්දය නිසා දේවින්දත්,තාරකාත් පිටුපස හැරී බැලුවහ.තවත් මිතුරියන් කිහිපදෙනෙක් වටකරගෙන අනුරාධා සිනා සලමින් දේවින්දලා සිටින තැනට පැමිණේ.
"මචංලා......අපි පරක්කු නෑ නේද?"පන්තියේ කටකාරිය වූ අනුරාධා සිනහසලමින් ඇසුවාය.
"පරක්කු නෑ.......බලපන් දැන් වෙලාව කීයද කියලා....."දේවින්ද තම අත් ඔරලෝසුව ඇයට දිගුකරමින් පැවසුවේය.
 "දැන් මෙයා මෙහෙම කිවුවට මොකද අපි පරක්කු වෙනවනම් හොඳයි කියල හිත හිත ඉන්න ඇත්තේ."තාරකා දෙසට නෙත් හෙළමින් කාංචනා පැවසුවාය.දේවින්දව තව ටිකක් තරහ ගැස්සීමට සිතූ අනුරාධා "හැබැයි ඉතින් දැන් දේවින්දට ඇස් පේනවත් අඩුයි වගේ නේ....කමක්  නෑ....ඕව ඉතින් හතලිස් ඇඳිරිය ලං වෙනකොට හැදෙන සාමාන්‍ය ලෙඩනේ....දැන් හරියටම වෙලාව උදෑසන අට පසුවී මිනිත්තු විසි පහයි.."
"මම මෙතන තව එව්න් ඉන්න නිසා උඹලට මොනවත් කියන්නේ නෑ.කිවුව කියල හිතාගනින්කෝ......."
"ආ.............ඔය එන්නෙ අනිත් එකත්.එහෙනම් අපි වැඩ පටන්ගමු නේ"අනුරාධා ඉක්මන් ගමනින් පිරිස දෙසට පැමිණෙන අරවින්ද දෙසට අත දිගු කරමින් දේවින්දට පැවසූවාය.
"හරි....හරි...දන් ඉතින් කට්ටියම ආවනේ.එහෙනම් දැන් ඉතින් කට්ටියම බාස්කට්බෝල්ස් ටික අරගෙන කෝඩ් එකට යන්න."දේවින්ද සැමටම ඇසෙන සේ කෑගැසුවේය.
ක්‍රීඩා පුහුණුවීම් ඇරඹුණි.භද්‍ර යෞවනියන්ගේ ක්‍රීඩාශීලිත්වය ඉතාමත් ඉහල තත්වයක පවතින බව ටික වේලාවක් යනවිට දේවින්දට පසක් විය.දේවින්දත්,අරවින්දත් ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලීත්වය පරික්ෂා කරමින් ඔවුන්ට නිවැරදි ක්‍රීඩා ඉරියවු පෙන්වා දුන්හ.සිසිලසින් යුත් මන්දමාරුතයක් ඔවුන්ගේ ගතෙහි වැදීගෙන ගුවනට පාවී ගියේ නිදහසට උරුමකම් කියන මේ යෞවන යෞවනියන්ට සුභ ප්‍රාර්ථනා කිරීමට මෙනි.එහෙත් නොසිතූ මොහොතක එක්වරම දේවින්දගේ ළඟ බෝලය අතේ තබාගෙන සිටි තාරකාගේ කකුලක් පටලැවී ඇයව වැටෙන්නට යන අවස්ථාවේදී දේවින්ද පැන  ඇගේ බඳ වටා අත දමා ඇයව අල්ලාගත්තද,ඇගේ එක් කකුලක් පෙරළී ගොස් තිබිණි.සියල්ලන්ම තාරකා වටා රොක්වූහ.වෙනත් කරන්නට දෙයක් නැති නිසාවෙන් ඇයව දෝතට ගත් දේවින්ද ඇයව රැගෙන ගොස් බංකුවක් මත තැබුවේය.මේ වන විටත් අධික වේදනාවට පත් තාරකාගේ ඇස් බොඳවී ගොස් කඳුළු කැට ගලායමින් තිබුණි.වහාම තමාගේ බෑගය ඇර ඒ තුළින් වේදනානාශක ස්ප්‍රේ එකක් ගත් දේවින්ද එය ඇගේ කකුලෙහි ගැල්වීය.
"තාමත් රිදෙනවද නංගි...."
දේවින්ද බෙහෙත් ගල්වා අවසානයේදී ඇගෙන් විමසීය.
"දැන්නම් ටිකක් අඩුයි වගේ....."ලැජ්ජාවට පත්වූ ඇය බිම බලාගෙනම කීවාය.
"ඔයාට ගොඩක් අමාරුද කෙල්ලේ.....ඉන්න අපි ඔයාව ගෙදරට ගිහිල්ලා ඇරලවන්නම්."අනුරාධාගේ ආදරණීය වදන් ඇගේ දෑස් තවත් බොඳකරවන්නට විය.
"එපා අනූ අක්කේ....ඔයාල සෙල්ලම් කරන්න.මම මෙහෙම ඉන්නම්.මට එච්චර අමාරුවක් නෑ."
ඇය කෙසේ කීවද ඇගේ වේදනාව අඩුවී නොමැති බව දේවින්දට වැටහුණි.
"නංගි පොඩ්ඩක් ඔහොම ඉන්න.මම ඉක්මනට කඩේට ගිහින් ඇස්ප්‍රීන් එකක් අරගෙන එන්නම්."
දේවින්ද ඉක්මනින් කඩයට දිවගියේය.
එදින හවස ක්‍රීඩා පුහුණුවීම් අවසන් වී අනුරාධාත්,දේවින්දත් තාරකාව ත්‍රී රෝද රථයක දමාගෙන ඇයව රෝහල කරා රැගෙන ගොස් කකුලට ප්‍රතිකාර කොට ඉන්පසුව ඇගේ නිවස වෙත රැගෙන ගියහ.තාරකාගේ මව තම දියණියට සිදුවූ අනතුර ගැන බියපත් වී සිටියා ය.ඇයට සිදුවූ සියල්ල පැහැදිලි කර දුන් අනුරාධා තාරකාව රැගෙන එන විට ඇයව වෛද්‍යවරයෙකුට පෙන්වූ බවත් ඇයගේ කකුලේ තත්වය ගැන බියවීමට කාරණාවක් නොමැති බව දොස්තර මහතා කී බවත් තාරකාගේ මවට පැවසීය.
සියල්ල නිම වී දේවින්ද තම නිවසට පැමිණෙන විට රාත්‍රී අටත් පසුවී තිබුණි.මේ වනවිට දේවින්දගේ නිවසින් ඔහු රෑ වෙනතෙක් ගෙදර නොපැමිණීම ගැන බියපත්ව සිටියහ.දේවින්ද නිවසට ගොඩ වදින විටම බියපත් මුහුණින් දේවින්දගේ මව සහ සොයුරිය ඉදිරියට පැමිණියහ.
"ඇයි අම්මා....?"
"කොහෙද දරුවෝ මේ රෑ වෙනකම් යන්නේ.තාත්ත දැනගත්තොත් මටත් විසුමක් වෙන්නෑ.ඔයා දන්නවනේ තාත්තගෙ හැටි.අඩුමගානෙ පරක්කු වෙනවනම් කෝල් එකක් දෙන්න තිබුනනේ.අක්කයි මමයි කොච්චර පපුවෙ ගින්දරෙන්ද හිටියේ.ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.........."
"මගෙ ෆෝන් එකේ බැට්‍රි ලෝ වෙලා අම්මා....ඒකයි කෝල් එකක් දෙන්න බැරි වුනේ....."
දේවින්ද එදින සිදුවූ සියල්ල මවට පැහැදිලි කලේය.
"ඔය මෙයාගෙ බොරු අම්මා.....කෙල්ලෙක්ව අල්ලගෙන කොහෙහරි රස්තියාදු ගහල ගහල එන්නැති...."
දේවින්ද මුලු විස්තරයම අසා සිටි දේවින්දගේ අක්කා සිනාසලමින් පැවසීය.
"තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගෙන ඉන්නවා......."
දේවින්ද ගේ තුලට ගියේ අක්කාගේ උරහිසට පහරක් ගසමිනි.
"ආව්.......බලන්න අම්මා......."ඇය කෑගැසීය.
"හොඳ වැඩේ කට තියාගෙන ඉන්න බැරුවට...."
"අම්මටත් ඉතින් අම්මගෙ සූකිරි පොඩි පුතාව තමයි ලොකු...."දේවින්දගේ සොහොයුරිය ගස්සාගෙන කාමරයට වැදුනාය.

දේවින්දගේ සිතට එදින පුදුමාකාර වෙනසක් දැනේ.එය සැහැල්ලු හැඟීමක්ද,නැතහොත් හිතට බරක් ලෙස දැනෙන හැඟීමක්දැයි ඔහුට නොතේරුණි.අද ගෙදර පැමිණි වෙලාවේ සිටම හිත මාන බලන්නේ තනිවෙන්නටමය.නැතිනම් හුදෙකලාවක අතරමංවන්නටය.එයට හේතුව කුමක්දැයි ඔහුට නොතේරුන නමුත් එය තේරුම් ගැනීමටද දේවින්ද උත්සාහ නොකළේය.ඒ සොඳුරු හුදෙකලාවේ අතරමංවීමට ඔහුගේ සිත ප්‍රිය කලේය.

නිලඹර වසන්තය.....(1 කොටස)




ඉරමල නැගෙනහිර අහසින් එබිකම් කරන්නට පටන්ගෙන දෙපැයක් ගතවන්නටත් පෙර පාසල් භූමිය අකුරු කරනට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් පිරී යන්නට විය.

පසෙකින් නැගෙන ඝෝශාව පරයා නැගෙන තම මිතුරන්ගේ උසුළු විසුළු වලින් දේවින්දට මහත් සංග්‍රහ ලැබිණි.
"දැන් ඉතින් දේවීන්දයට මේ ස්පෝට් මීට් එකක් ලොකු වෙලා අපිව මතකත් නෑ.ඕකට තමයි මචන් කියන්නෙ ඉස්සෙල්ල ආපු රැවුලට වඩා පස්සෙ ආපු කොණ්ඩෙ ලොකුවෙනවා කියල..."අමිල පැවසුවේ ඕනෑවට එපාවට මෙනි.
"ඇත්තද බන්.උඹේ කොණ්ඩෙට කලින් ආවෙ රැවුලද?මගේනම් ඉස්සෙල්ල ආවෙ කොණ්ඩෙ...පස්සෙ තමයි අනිත් තැන්වල වැවුනෙ..."කටකාරයෙකු වූ දේවින්දව මැඩවීමට ගොස් තමාට වැරදුණු බව අමිලට වැටහුනේ ටික වේලාවක් ගත වූ පසුවය.

යෞවනය මිහිරියාවක් කොටගෙන ජීවත්වූ දේවින්දට තම ජීවිතය දැණුනේ මල් ගොමුවක රොන් උරාබොමින් සිටින සමනලයෙකුවන් හැඟීමකි.නිදහසට උරුමකම් කියමින් කටකාර කෙළිලොල් මිතුරන් අතරේ ගෙවෙන මෙම දිවියට දේවින්ද ප්‍රිය කළේය.

පාසලට මේ දිනවල නව පණක් ලැබී ඇත්තාක් මෙනි.පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලට ඇත්තේ තව මසකටත් අඩු කාලයකි.ගුරුවරුන්ගෙන් සිසු සිසුවියනට තරමක නිදහසක් ලැබී ඇත්තේ ගුරුවරුන්ද හනි හනිකට ක්‍රීඩා උළෙලට ලක ලෑස්ති වන නිසා විය යුතුය.තිස්ස,විජය,පරාක්‍රම,ගැමුණු යන නිවාස හතරෙන් විජය නිවාසයේ නිවාස නායකත්වය ඉසිලූ දේවින්දට හරි හැටි කෑමක් බීමක් ගන්නටවත් කාලයක් නොමැත.ඉරමල යන්තම් අහස් ගැබට එබිකම් කරන්නට පටන් ගන්න වෙලාවේ පාසලට පැමිණෙන දේවින්ද උදේ පාන්දරින්ම තමන්ගේ නිවාසයේ සිසු සිසුවියන් හට පුහුණුවීම් සඳහා අවැසි වන ක්‍රීඩා උපකරණ සකසා දෙයි.ඉන්පසුව විවිධ වයස් මට්ටම් වලට අදාලව රැස්වීම පවත්වා තම සගයන්ව දැනුවත් කරන ඔහු ඉන්පසුව යන්නේ ශිෂ්‍යයන්ට ක්‍රීඩා සඳහා උපදෙස් ලබා දීමටය.මේ සියල්ල අවසන් කර හවස තිබෙන අවසන් දවසේ පැවැත්වීමට නියමිත සරඹ සංදර්ශනයේ පුහුණුවීම්ද නරඹා නිවසට යනවිට සඳ කුමරිය අහස් ගැබට පිවිසී හමාරය.කෙතරම් බරක් තම ඔළුව මත තිබුණද එම කිසිවක් කරදරකාරී දේවල් ලෙස දේවින්ද කිසිදු විටක නොසිතයි.ඔහු අභියෝගවලට ප්‍රිය කරයි.ඕනෑම දෙයක් අභියෝගයක් ලෙස බාරගන්නා මොහු කෙරෙහි සමස්ථ විජය නිවාසයම විශ්වාසය තබා ඇත.
                 ක්‍රීඩා උළෙල සඳහා තව කෙටි කලක් ඇති නිසාවෙන් ඉරිදා දිනවලද පුහුණුවීම් කටයුතු සිදු කළහ.දේවින්දගේ මූලිකත්වයෙන් මීළඟ ඉරුදින විජය නිවාසයේ ගැහැණු ළමුන්ගේ පැසිපන්දු පුහුණුවීම් සඳහා වෙන් කෙරුණි.

ඉරුදිනට හිමිකම් කියන ඉරමල අහසට පහන්වන විටත් දේවින්ද සිටියේ පැසිපන්දු ක්‍රීඩා භූමියේය.දේවින්ද නියමිත වේලාවට පැමිණියද කිසිවෙකු පැමිණ නැත.තමාට වේලාව වැරදුණිදැයි දේවින්දගේ හිතට සැකයක් මතුවිය.ඔහුගේ නෙත් තම අතේ බැඳි ඔරලෝසුව දෙසට යොමුවිය.නැත.තමා පැමිණ ඇත්තේ නියමිත වේලාවටය.ගැහැණු ළමුන් තබා තමාගේ සගයා වන අරවින්ද ද තවම පැමිණ නැත.තම කලිසම් සාක්කුවට අත යැවූ දේවින්ද ජංගම දුරකතනය එළියට ගෙන අරවින්දට දුරකතන ඇමතුමක් ගත්තේය.

"කොහෙද %#%&)* ඉන්නෙ?"

"අනේ දේවින්දයො...මට ඇහැරෙන්න පොඩ්ඩක් පරක්කු වුනා මචෝ...මේ දැන් එන්න ලෑස්ති වෙන ගමන්."

"හරි හරි...දැන්වත් හැඩ වැඩ වෙවී ඉන්නෙ නැතුව ඉක්මණට ඇඳුමක් දාගෙන වර."

"හැඩ වැඩ නොවී කොහොමද යකෝ...අද ප්‍රැක්ටිස් තියෙන්නෙ කෙල්ලන්ගෙ නේද?කෙල්ලො ඉන්න තැනකට හැඩ වැඩ නොදා එන්නෙ කොහොමද  &!*^#...?"

දේවින්ද දුරකතන ඇමතුම විසන්ධි කර විශාල මාර ගස යටට ගොස් වාඩිවිය.දේවින්දට නොදැනුවත්වම ඔහුගේ සිත තැන් තැන්වල සැරිසරන්නට විය.තමාට නිවාස නායකත්වය ලැබුණ මොහොතේ සිය මේ වනතෙක් සිදුකල වැඩ කටයුතු පිළිබඳවත් ඉදිරි දිනවල කරන්නට තිබෙන වැඩ කටයුතු පිළිබඳවත් ඔහුට සිහිවිය.

තාරකා ක්‍රීඩා භූමියට පැමිණෙන විට විශාල මාර ගසේ සෙවණේ පහස විඳිමින් සිටි දේවින්දව ඇයගේ නෙතට හසුවිය.ඇයගේ හිත ආගන්තුක හැඟීමකින් පිරී ගියාය.ඔහු මේ වෙලාවේ කුමක් පිළිබඳව සිතමින් සිටිනවා ඇත්ද?තාරකාට ඔහු සමවැදී සිටි දැහැන බිඳ දමන්නට ලෝබ සිතුණි.ඇය තවත් විනාඩියක් පමණ දේවින්ද දෙස නෙත් හෙලාගෙන සිටියාය.ඔහුගේ රුව මතක තබාගෙන ගොස් රස විඳීමට වටින්නේ යැයි ඇයට සිතුණි.දේවින්ද සැබැවින්ම කඩවසම් ශරීරයකට හිමිකම් කියන්නෙකි.ඔහුලේ එම කඩවසම්භාවය ඕනෑම තරුණියකගේ හිත් ඇද බැඳ ගැනීමට සමත්ය.එහෙත් මෙතුවක්කල් ඔහු යුවතියකට සමීප වී නැත්තේ ඔහු අන් අය මෙන් ආදරය යන හැඟීම විහිළුවකට නොගෙන සිටි නිසාවෙනි.

"ඇයි දේවින්ද අයියේ......තාම කවුරුත් ඇවිල්ල නැද්ද?"තාරකා සුහද අයුරින් විමසුවාය.එක්වරම ඇසුණු කටහඬින් විශ්මයට පත් දේවින්ද හිස එසවීය.


..................................................................................................................................................................

ප/ලි

ඔන්න ඉතින් මම ඊයෙ කිවුව විදිහටම කෝඩුකාරයාගේ තවත් කෝඩුකාර සිහිනයක් මේ පෝස්ට් එක තුලින් මල් පළ ගැන්වුනා.....මේ ලිපිය තුල වැරදි අඩුපාඩු බොහොමයක් ඇති.ඔයාල මට ඒ අඩුපාඩු පෙන්නල දෙන්න කියල මම ඔයාලගෙන් ඉල්ලනවා.ඔයාලගෙ යෝජනා..චෝදනා ඔක්කොම මගෙ කමෙන්ට් බොක්ස් එක ඇතුලේ ලියවෙයි කියන බලාපොරොත්තුවක් සමගම අදට මම සමුගන්නවා.......මීළඟ කොටසත් අරගෙන ඔයාලව හම්බවෙන්න එන්නම්......

කෝඩුකාර ඇරඹුමකට පෙර



ඔන්න ඉතින් ආයෙත් ගොඩාක කාලෙකට පස්සෙ කෝඩුකාරයගෙ අඩවිය පැත්තට ගොඩ වැදුනෙ ලොකු වැඩකට මූලාරම්භයක් තියන්න හිතාගෙන.ඊට කලින් මේ දේත් කියන්නම ඕනෙ....පසුගිය දිනක පැවැත්වුන සිහින උළෙලට මෙදා පාරත් කෝඩුකාරයට එන්න බැරිවුනා.කට්ටියම අවුරුදු උත්සවේ ගැන දාපු පෝස්ට් ඔක්කොම වගේ මම කියෙවුවා.ඒව දැක්කම ඉතින් ආවෙ නැත්තෙ අපරාදෙ කියල හිතුනා.තවත් සුභ ආරංචියක් කලාකාරයගෙන් දැනගන්න ලැබුනා.මොකක්ද දන්නවද...?මටත් වඩා පොඩි මල්ලියෙක් බ්ලොග්කරණයට පිවිසිලා.මේ මුළු බ්ලොග් පුරවරයේ ඉන්න හැම එකාටම අයියේ...අක්කේ කිය කිය කමෙන්ට් දාපු මට දැන් මල්ලියේ කියලත් කියන්න එකෙක් ඉන්නවා.ඒ ගැනනම් මට ගොඩාක් සතුටුයි.
දැන් ඉතින් වටේ ගියා ඇතිනේ.මම ඔයාලට පටන්ගන්නකොටම කිවුවනෙ ලොකු වැඩකට අතගහන්න යනව කියල.මොකක්ද දන්නවද?"කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටස" හෙට කෝඩුකාරයාගේ අඩවියේ පල කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.මේ කතාවෙ පොඩි විශේශත්වයක් තියනවා.මොකද කතාවෙ පළමු කොටස් කීපය ඇරුනහම අනිත් කොටස් සියල්ලම ලියන්න හිතාගෙන ඉන්නෙ ඔයාල කැමති විදිහට.ඒක නිසා මුල් කොටස් පහෙන් පස්සෙ ඔයාල දාන කමෙන්ට් වලට අනුව තමයි කතාව ලියන්න හිතාගෙන ඉන්නෙ.මම ඉතින් නවකතා රචනයට කෝඩුකාරයෙක්නේ......ඒක නිසා ඉතින් මගෙ අතින් වෙන වැරදි අඩුපාඩු එහෙම ඕන තරම් ඇති.ඔයාල ඒ අඩුපාඩු මට පෙන්නල දෙන්න.මම ඒව හදාගන්නම්.එහෙනම් ඉතින් හෙට කෝඩුකාරයාගේ කුළුඳුල් නවකතාවේ පළමු කොටසින් හම්බවෙමු........

කෝඩුකාරයට සා/පෙ පලදුන්නෝ.......


            
 අද දවස කෝඩුකාරයට 20%ක් විතර දුක හිතෙන 80%ක් විතර සතුටු හිතෙන දවසක් බවට පත්වෙලා.වෙන මුකුත් හින්ද නෙමෙයි.2011දි කෝඩුකාරයෙක් විදිහට සා/පෙ ට මුහුන දුන්න මගේ සා/පෙ ප්‍රථිඵල අද නිකුත් වුනා.
                   "ලොකු පුතා....මෙන්න ඔයාට කෝල් එකක්."අද උදේ අපේ මවුතුමිය මගේ අතට පොල්මුඩ්ඩ ගෙනැල්ල දුන්න.මමත් ඉතින් නිදිමතේ වගේ පොල්මුඩ්ඩ කනේ තියාගෙන
"හෙල්.......ලෝ......."
එතකොට අනිත් පැත්තෙන්...
"අඩෝ...රිසාල්ට් බැලුවද?"
ඩෝං පටෝං....මට නිකන් හෙනයක් ගැහුව වගේ
"තොට පයිත්තයන්ද?බොරු කියන්නෙ නැතුව හිටහන් යකෝ....තාම රිසාල්ට් ඇවිල්ල නැ...."
ටිකක් බයවෙලා හිටියට ඒ බය පෙන්නන්නෙ නැතුව මම කිවුවා.
"එහෙනම් උඹ ඕන එකක් කරගනින්."
බීප් බීප්.....
කෝල් එක කට් වුනා.
කිසි සද්දයක් බද්දයක් නැතුව ඇඳෙන් නැගිටල ගිහින් ලැපියව අතට ගත්ත මම ගූගල් ක්‍රෝම් ඕපන් කරල www.doentes.lk කියල URL එකේ ටයිප් කලා.......
අප්පට හුඩු...ඒ සයිට් එකට හෙනගහල මන්ද.ඒකට යන්න දෙන්නෙම නෑ....
එතකොටම මගේ කෝඩුකාර මොලේට කිරි ටොයිය අදහසක් පහල වුනා.ඇයි හතිලව්වෙ...මගේ පොල් මුඩ්ඩෙන් රිසාල්ට් බලන්න පුලුවන්නෙ.ගත්ත මොබිටෙල් එකේ අක්කට කෝල් එකක්.
ටික වෙලාවක් අනන් මනන් සද්ද දාපු අක්ක මගෙන් ඇහුව.."මොකක්ද වෙන්න ඕනෙ" කියල.
"අක්කෙ මට මගේ සාපෙ ප්‍රථිඵල බලාගන්න පුළුවන්ද?"
"මෙහෙමයි මහත්මයා...මට ඔබගේ නම දැනගන්න පුලුවන්ද?"
ටොයිං ටොයිං.......එයා මගේ නම අහනව.
"මම තරිඳු නිර්මාල්"
"මෙහෙමයි තරිඳු මහත්මයා...ඔබගේ ප්‍රථිඵල බලාගැනීමට ඔබ **************************************************************************************************************** කරන්න.එතකොට ඔබට SMS එකකින් ඔබගේ ප්‍රථිඵල දැනගන්න ලැබෙයි."කියපු අක්ක පොල් මුඩ්ඩ කට් කලා.
ඉතින් මමත් අනිත් පැත්තට අක්ක කියපු විදිහට මැසේජ් එකක් දැම්ම.
තත්පර 10ක්වත් යන්න වුනේ නෑ.7777කියන නම්බර් එකෙන් මට මැසේජ් එකක් එනව.මැසේජ් එක ඕපන් කලා.
කීං කීං.......මගේ රිසාල්ට් ඇවිල්ලා...

සාමාන්‍යනෙන් කවුරුත් තමන්ගෙ රිසාල්ට් ප්‍රසිදිධියේ කියන්නෙ නෑ....ඒත් මමනම් කැත නැතුව ඒ වැඩේ කරනවා.ඔන්න ඉතින් පොල් මුඩ්ඩට ආව මැසේජ් එකේ මෙන්න මෙහෙම රිසාල්ට් එකක් තමයි තිබුනෙ...
සිංහල - A
බුද්ධ ධර්මය - A
ඉතිහාසය - C
තොරතුරු තාක්ශනය - C
විද්‍යාව - C
පුරවැසි අධ්‍යනය - C
ඉංග්‍රීසි - S
චිත්‍ර - S
ගණිතය - S
                      ඔන්න ප්‍රථිඵලේ........ආපෝ.....ඊට පස්සෙ ඉතින් හැමතැනින්ම කෝල් වරුසාවයි.කනක් ඇහිල ඉන්න නෑ.ඔන්න මට දැනුත් කෝල් එකක්.එහෙනම් මම කෝල් එකට ආන්ස්වර් කරන්න යනවා.තවත් පෝස්ට් එකකින් ආයිත් හමුවෙමු......