Buscar

Páginas

සිංහලයෙක්නම් මේකත් කියවපියවු........


ප්‍රාර්ථනා සුදු කුළුනේ දකුණු පසටත් අරවින්ද වම් පසටත් බරවිය.ඔවුන් දෙදෙනා අතර පරතරය වැඩිය.
"දෙන්නා මැද ලොකු බාධකයක්නේ....කුළුන බදාගෙන ළං වෙන්න...."
මොහොතකට දෙදෙනාගේ දෑස් හමුවිය...දෙදෙනා ලං විය.....අරවින්දගේ වම් පස බාහුව ඇගේ දකුණුපස සුරත හා ගැටිණ.ෆ්ලෑෂ් එළිය දැල්විණ....දෛවය විසින් එක් කල අපූර්වතම ජීවිත දෙකක් එකට එකම වර කොඩැක් දළ සේයා පටය මත ඇඳුණි....


කොතරම් අව්‍යාජ සිදුවීමක්ද?ඔයාල දැන් ඔය කියෙවුවෙ සුජීව ප්‍රසන්න ආරච්චි කියන ප්‍රතිභාපූර්ණ ලේඛකයාගෙ සින්දූර් කියන නව කතාවෙ පොඩි කොටසක්.මේ කොටස මම ඔයාලට පෙන්නන්න හිතුවෙ මේ ලේඛකයගෙ තියන පරිපූර්ණ වූ ලේඛන හැකියාව පොඩ්ඩක් ඉස්මතු කරවන්න.සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ ඇත්තටම සුන්දර,දක්ෂ,පිරිපුන් ලේඛකයෙක් කියල කිවුවොත් මම වැරදි නෑ.
මේ දවස්වල කෝඩුකාරයටත් කරන්න වැඩි වැඩක් නැති නිසා පුලුවන් තරම් නවල්ස් කියවන එකයි ෆිල්ම් බලන එකයි තමයි කරන්නෙ.ඔය කියවන පොත් අතරින් මම ආසම රචකය තමයි සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ.එයාගෙ පොත්වල පුදුම සාහිත්‍ය රසයක් ගැබ්වෙලා තියනව කියල මට හිතෙනව.උදාහරණයක් විදිහට මේ සින්දූර් කියන පොතේ තියන අරලියා හොලිඩේ රිසෝට් කියන හෝටලය ජීවිතේ කවමදාවක්වත් දැකල නැති වුනාට ඒ හෝටලේ චිත්ත රූපයක් ලෙස මවා පෙන්නන්න සුජීව ප්‍රසන්න ආරච්චි කියන නිර්මාණකරුව සමත්වෙලා තියනව.
සමහර වෙලාවක මට ඇහිල තියනව සම(හරක්) අය කියනව සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ මහම මහ බොළඳ කතා ලියන කෙනෙක්,එයාගෙ පොත්වල ගොඩක්ම තියෙන්නෙ කුණුහරප......කියල.නමුත් ඔහු ලියල තියන පොත් වලට කියන්නෙ බොළඳ නවකතා කියලද කියන එක පොඩ්ඩක් හිතල බලන්න.අනික කුණුහරප කියන දේ මිනිස්සු විසින්ම හදාගත්ත දෙයක් කියන එක අමතක කරන්න එපා.අතීතයේදී මිනිස්සු පාවිච්චි කරපු සමහර වචන අද වෙනකොට නිකම්ම කුණුහරප බවට පත්වෙලා තියනව.ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු වචන අද ඉන්න ලේඛකයෙක් තමන්ගෙ නිර්මාණවලට යොදාගන්නකොට දැන් මිනිස්සු හිතනව මේ රචකයගෙ පොත්වල තියෙන්නෙ කුණුහරුප කියල.ඕක රචකයගෙ වැරැද්ද කියල මටනම් හිතෙන්නෙ නෑ.යම්කිසි පොතක රසභාවයන් මතුකර දක්වන්න කතුවරයා බොහෝ උපක්‍රම යොදා ගන්නව.කොච්චර උපක්‍රම යොදාගත්තත් පාඨකයාට ඒ රසභාවයන් වටහාගන්න බැරි වෙන එකට කතුවරයාට දොස් කියන්න බෑ.

කොහොම වුනත් සුජීව ප්‍රසන්න ආරච්චි කියන කතුවරයා තමන්ගෙ පොත් සාර්ථක කරගන්න දරපු ව්‍යාමය ගැන තමයි මම මේ පෝස්ට් එකෙන් ඔයාලට කියන්න හැදුවෙ.නමුත් මේ පෝස්ට් එක ලියන වෙලාවෙ හිතට එන අදහස් සියල්ලම වගේ කෝඩුකාරයගෙ අත දිගේ ඇවිත් ඇඟිලි තුඩු මතින් මගේ බ්ලොගයේ සටහන් වුනා.සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලියල තියන පෝස්ට් එක කිසිම වැඩකට නෑ කියල.තවත් සමහර අයට හිතෙන්න පුළුවන් මේ කියන දේත් ඇත්තක් තියනව නේද කියල.ඔය දෙකෙන් මොනව හිතුනත් හිතුන දේ කමෙන්ට් එකක් විදිහට කෝඩුකාරයාගේ අඩවියේ ලියල යන්න කියල මම ඔයාලගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා...................

11 comments:

ගැමියාගේ පත් ඉරුව

හ්ම්ම්ම් මම මෙයාගේ පොත් කියවලා නෑ වැඩිය ඒත් ඉතිං දැන් ගොඩක් නවකථා හෙන බොළදයි තමා.බොද මීදුම් නම් මට එපාම වුනා හොද පොත් ඇති ඒ උනාට වාණිඩ අරමුණක් ඇරෙන්න මෙයාට සාහිත්‍යමය රසයක් වැඩක් නැති ගානයි.

මගේ ප්‍රියතම රචකයෙක් තමයි භද්‍රජී මහින්ද ජයතිලක.එයාගේ කෘති සෑහෙන්න රසාස්වාදයක් තියෙනවා.හැබැයි ඉතිං ඒ මගේ රසාස්වාදය.

මගේ නම් මතය මල්ලී පරිවර්තන කියවන එක බොළද කෘති 1000ක් කියවනවට වඩා හොදයි කියන එක.මට මතකයි මලීකා(twenty years in a desert jail),ගොඩානා,උකුසු දඩයම පොත් ටික.ඒවා මම කියෙව්වේ ගිය මාර්තු මාසේ ඒත් තාමත් ඒ සිදුවීම් සෑහෙන්න ජීවමානයි.නවකතාවකින් ඒ දේ කරන්න පුළුවන්නම් තමයි වැදගත්.මට මතකයි two captains කියලා පොතකුත් ඒකේ සිංහල නම මතක නෑ.හැකි නම් හොයාගෙන කියවන්න.

හිත රිදුනානම් සමාවන්න.හැමෝගෙම රසාස්වාදය එකමනම් විවධ රචකයෝ බිහිවෙන්නෙත් නෑනේ ඒ නිසා බලමු අනාගතේදි මෙයාගේ පොතක් හෙම කියවන්න

කතන්දර Kathandara

පරිවර්තනම ඕනෑ නෑ.
හොඳ සිංහල නවකතා තියෙනවා ඇති පදං. ගිහිල්ලා බලන්න සූරිය ප්‍රකාශකයෝ, සරසවි පොත්හල වගේ තැන්වලට.

(මං මේ කියන ලේඛකයාගේ එකම පොතක්වත් කියවා නැත. පොර හොඳ වැඩකාරයෙක් විය යුතුයි පොත් ඔච්චර ගොඩක් ලියන එකම ප්‍රාතිහාර්යයක්, ගෝස්ට් රයිටර්ස්ලා නැතුව!)

කෝඩුකාරයා

ගැමියාගේ පත් ඉරුව : අයියගෙ කතාවෙත් ඇත්තක් තියනව.මම කියන්නෙ නෑ මේ රචකයගෙ සියලු පොත් හොඳම හොඳ ඒව කියල.අයිය කියන බොඳ මීදුම් පොත කියවන්න ගිහින් මටත් ඒක එපා වුනා.මේකනෙ ඔතන තියන ප්‍රශ්නේ....එක එක්කෙනාගෙ සාහිත්‍ය රසය වෙනස්නේ...ඉතින් එක්කෙනෙක්ට රස දේ තව කෙනෙක්ට නීරසයි.තවකෙනෙක්ට නීරසදේ තවත්කෙනෙක්ට රස වෙන්න පුළුවන්.කොහොම වුනත් පෝස්ට් එක කියෙවුවට තෑන්ක්ස් අයියේ....ඉස්සරහට ඔය වගේ තවත් හොඳ Comments බලාපොරොත්තු වෙනවා.

කෝඩුකාරයා

කතන්දර : ඔව්...මමත් ගොඩාක් පොත් ගන්නෙ සරසවි එකෙන් තමයි.පොඩ්ඩක් සුජීව ප්‍රසන්න ආරච්චිගෙ පොතුත් කියවල බලන්නකො කොහොමද කියල....පෝස්ට් එක කියෙවුවට තෑන්ක්ස් අයියේ.....

෴෴සිහින කොදෙව්ව෴෴

හම්මෝ මමනම් එක පයින් මිනිහගේ පොත් කියවන්වා අව්ලකට තියෙන්නෙ පොත් 5ක්වත් එක කතාවකට ගහන එක..නැතුව කිසිම අව්ලක් නෑ...

පිටවාන

මෙහෙමයි මගේ සුන්දර යාළුවා,මම ගැමියත් එක්ක එකඟයි.මොකද කෆ්කා,ඩුමා,හියුගෝ,ගෝර්කි, වගේ ලේඛකයෙක්ගේ එක කෘතියකින් ජීවිතයට ගන්න පුළුවන් දේවල් ඔය වගේ පොත් දාහකින්වත් ගන්න බෑ. අ තරම් දුර යන්න ඕනේ නෑ. අඩු තරමේ කේ.ජයතිලක මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයින් ගැන හිතන්න. ඒත් සුජීව වගේ ජනප්‍රිය ධාරාවේ නිර්මානකරුවන්ගේ නිර්මාණත් ලෝකය පුරාම ජනප්‍රිය වුණා. උදාහරණ විදියට එඩ්ගාර් රයිස් බරෝස්,බ්‍රැම් ස්ට්‍රොකර්,රොබර්ට් මයිකල් බැලන්ටයින් ගන්න පුළුවන්.ඒත් මම සුජීවව සමාන කරන්නේ නෑ කලින් කීව ලේඛකයින්ට. ප්‍රබුද්ධ පීචං කියල බෙදල වෙන් කරන්න බැරිවුනත් සුජීව කියන්නේ මගේ සිත් ගත්ත ලේඛකයෙක් නෙවෙයි.මොකද සුජීවගේ පොත් 10 ක් ගත්තොත් ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ චරිත වලින් විතරයි. හරියට බේකරි දහයක හදාපු පාන් රාත්තල් දහයක් වගේ. බර,හැඩය ,පාට වෙනස් වුනාට ඔක්කොම පාන්.

කෝඩුකාරයා

ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා යාළුවා.....ඒත් සුජීවගෙ පොත් වල තියනව හැඟීම් දනවන ගතියක්.උදාහරායක් විදිහට බලන්න මම ඔය කියල තියන පොතේ ඒ පරිසරය මවල පෙන්නන්න,තිසා වැව පාමුල තියන අරලියා හෝටලය මවල පෙන්නන්න,ලොකු උත්සාහයක් දරල තියනවා.අන්න ඒක නිසයි මම කිවුවෙ එයාගෙ පොත්වලත් යම් කිසි සාහිත්‍ය රසයක් තියනවා කියල.සමහර විට ඔයාලට එහෙම නොවෙන්න පුළුවන්...හැම කෙනාගෙම රසාස්වාදය එක වගේ නෙමෙයිනේ...අනික සුජීව වගේ ලේඛකයන්ව මාර්ටින් වික්‍රමසිංහ වගේ අය එක්ක සංසන්දනය කරන්න කොහොමත් බෑ.
කොහොම වුනත් කෝඩුකාරයාගේ අඩවිය පැත්තෙ ආව ඔයාවත් මං සාදරයෙන් පිළිගන්නවා............ආයිත් මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න.

කෝඩුකාරයා

සිහින කොදෙව්ව : ඒක නේන්නම් කියන්නේ.......

Unknown

මම සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකථා මෙන්ම හාවනා සගරාව අනිවාර්යෙන්ම කියවන කෙනෙක්
සුජීව ප්‍රසන්න ආරච්චි කොයි තරම් හොදට නවකතාලියනවද කිවුවොත් සිනහවක් නැති මුහුණකට සිනහවක් දෙන්න පර වු මලකට යලි පිබිදෙන්නට ජිවිතේ කොයි තරමි අමාරුකම් මැදින් ජීවිතය ගොඩනගා ගන්නා හැටි මනාවට කියලා දෙනවා

ඒත් හිතට ටිකක් විතර දුකයි මෙහෙම කියන එක ඒත් ඒක කියන්න වෙනවා සුජීව ප්‍රසන්න ආරච්චි කොයි තරම් හොද කෙනෙක් උනත් කවදාක වත්ම දීපු පොරොන්දු ඉටු කරන කෙනෙක් නෙවෙයි ඔයාලා හිතනවා ඇති සුජීව ප්‍රසන්න ආරච්චි ගැන මොකද මෙහෙම කියන්නේ කියලා ඒකට හේතුවක් තියෙනවා භාවනා සගරාවේ 2011 ඔක්තෝබර් විශේෂ කලාපයේ මගේ ජීවිත කථාවේ ගම්පහ සකුන්තලා ගැන ලිපියක් පල වී තිබුනා ඒ ලිපියේ අවසානයේ සකුන්තලාට ලියන්න ඔබත් කැමති නම් භාවනා බාරේ සකුන්තලා තැ.පෙ.70 නුගේගොඩ යන ලිපිනයට ලියුමක් යොමු කරන්න ඒ සියලු ලිපි ඇයට පෞද්ගලිකව යොමු කරන බවට සහතික වෙමු යනුවෙන් සදහන් කර තිබුනා මම දැනට මාස 09ක් තිස්සේ ඇයට ලිපි 90කටත් වඩා ලියලා තිබ්බත් ඒ එක ලිපියක්වත් තවමත් ඇයට හමු වී නැහැ මම සුජීව ප්‍රසන්න ආරච්චි දීපු පොරොන්දුව විශ්වාස කරලා 2011 නොවැම්බර් මාසේ ඉදලා 2012 අගෝස්තු මාසේ දක්වා ලිපි ලිවුවා ඒත් ඒ පොරොන්දුව තවමත් ඉටු වී නැහැ

Unknown

තනිකරම මෙයාගේ තියෙන්නෙ වාණිජ අරමුණක්.. මම මම මෙයාගේ පොත් දෙක තුනක් ඒ කාලේ කියෙවුව ..එත් ඒ වචන වල කතාවල තියෙන්නෙ පුදුම බොලද බවක්.. ඔයා මෙයාට දක්ෂ පිරිපුන් ලේකකයෙක් කිවුව එක කොයිතාක් දුරට සාදරණද කියන්න දන්නෙ නෑ.. එත් මෙයාගේ පොත් කීපයක් ගත්තොත් එකිනෙකට පොඩි වෙනස් කම් තියෙන්නෙ.නම්, ගම්, වෙනස් උනාම හරියට බැලුවොත් මේ හැම එකකම එකම විදියෙ කතාවක් යන්නෙ. .. පාටකයට වඩා මෙයා උනන්දු වෙලා තියෙන්නෙ සල්ලි වලට.එයාගේ පොතක් අතට ගත්තම ඒක පැහැදිලිව තේරෙනව...මෙයා පොත් දාහක් ලිවුවත් අපේ ජීවිත වලට ගන්න වැදගත් කියල දෙයක් ඔය එක පොතකින්වත් හොයාගන්න බෑ .
බොළඳකම වයසින් වයසට වෙනස් වන්නකි. පුද්ගල තරාතිරමෙන් තරාතිරමට වෙනස් වන්නකි. බොළඳ යන වදනට අර්ථයක් ඇතත් “බොළඳකම” නිර්වචනය කිරීම අතිශයින් අසීරු ය.

Anonymous

වෙනස් කතාවක්.මං නං සුජීවත් කියවනවා.විශ්ව සාහිත්‍යයත් කියවනවා.කොහොම වෙතත් අය්යේ මගේ අදහස නම් බොළද නවකතා අතරේ සමාජය යහපත් කළ හැකි බලවේගයක් සුජීවගේ පොත්වල තියෙනවා කියන එක.නමුත් ඔය තරම් බොළද වෙලා ජීවිතේ දිහා බලන්න පෞද්ගලිකව මම කැමති නැහැ.නමුත් යහපත් ලෙස ජීවත් විය යුතුයි කියන දේ සුජීවගෙ පොත් කියවල මිනිස්සු තමන්ගෙ ජීවිතවලට ගන්නව නම් ඒක ගොඩක් වටිනව.අද කාලෙ වටිනව කියල සම්මාන දෙන පොත්වල වැඩිපුර තියෙන්නෙ අමුඅමුවෙ ලිංගිකත්වය.ඒත් සුජීවගෙ පොත්වල ඒ වෙනුවට ආදරය තියෙනව.මනුස්සකම තියෙනව.ඒත් ඒ තරම් බොළද වෙන්න ඕන නෑ.